පුවත්

03 Jul2025

ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන ගැටලු පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය තුළ සංවේදීකරණය සහ දැනුවත්භාවය ඇති කිරීමේ අරමුණින් "නිර්බාධිත සමාජ ජීවිතයක් උදෙසා" යන තේමාව යටතේ වැඩමුළුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් දසවැනි පාර්ලිමේන්තුවේ ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය මගින් සංවිධානය කළ මෙම වැඩසටහන පසුගිය 18වනදා පාර්ලිමේන්තුවේදී පවත්වන ලදී.

මෙම සංවේදීකරණය සහ දැනුවත්භාවය ඉහළ නැංවීමේ වැඩසටහනේ සම්පත්දායකයින් ලෙස ආබාධ සහිත තැනැත්තන් නියෝජනය කරන විවිධ කණ්ඩායම්වල නියෝජිතයින් සහභාගී වූහ . එහිදී ආබාධ සහිත තැනැත්තන් මුහුණ දෙන අභියෝග සහ ඒවාට මුහුණ දීම සඳහා පවතින අවශ්‍යතාවයන් පිළිබඳවද ඔවුහු මෙහිදී කරුණු ඉදිරිපත් කළහ.

නීති සම්පාදනය කරන ස්ථානයේ මහජන නියෝජිතයන් අතර අබාධ සහිත තැනැත්තන්ගේ පවතින ගැටලු හා ඔවුන්ට අවශ්‍ය විසදුම් පිළිබඳව දැනුවත් භාවය සහ සංවේදීකරණය ඇති කිරීම මගින් අවශ්‍ය වෙනස්කම් කළ හැකි බව තමන් විශ්වාස කරන බව මෙහිදී අදහස් දක්වමින් ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා පැවසීය. නිර්භාධිත සමාජ ජීවිතයක් නිර්මාණය කිරීම සඳහා, පාර්ලිමේන්තුව විසින් ප්‍රතිපත්ති සකස් කළ යුතු බවත් මෙම අබාධ සහිතවුවන් පිළිබදව වඩාත් සංවේදීව කටයුතු කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමක් වන බවත් ඒමහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය. ඒ වෙනුවෙන් සංවිධානය කළ මෙම දැනුවත් කිරීමේ සහ සංවේදීකරණය ඇතිකිරීමේ වැඩසටහන සාර්ථක වූ බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම අවස්ථාව සඳහා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ නියෝජ්‍ය සම ඒකාබද්ධ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) පත්මනාදන් සත්‍යලිංගම් මහතා සහ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරමින් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වූහ.